ඩොලර් සහ ණය; අපි කාටද ණය වෙලා ඉන්නේ? ඇයි ණය ගත්තේ? කවදද ගත්තේ? මේ ණය මුදල් අපි මොනවටද භාවිතා කරේ? - රටේ ණය බර පිළිබඳව ඔබට තියන සියලු ප්‍රශ්න සඳහා පිළිතුරු, පහලින්.
1948 ශ්‍රී ලංකාව නිදහස ලද දින සිට, පළමු වරට, විදේශ ණය ගෙවීමට නොහැකිවීමේ අවදානමක් මතු වී ඇත. ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය ආයතන හා ගෝලීය ආයෝජන සමාගම් දැනටමත් ප්‍රකාශ කර සිටින්නේ ඉදිරි මාස කිහිපය තුල ශ්‍රී ලංකාවට ණය වාරික ගෙවීමට නොහැකි වන බවයි.
මේ තත්වයත් සමඟම අපි ඇසිය යුතු ප්‍රශ්න කිහිපයක් ඇත - ගෙවිය යුතු ණය මුදල් ප්‍රමාණයේ සමස්ථය කීයද? ගෙවිය යුත්තේ කාටද? නැවත ගෙවීම් කිරීමට නොහැකිවන තරමට ණය ගත්තේ කෙසේද?
ශ්‍රී ලංකාවේ විදේශ ණය තත්වය, සැකෙවින්
ශ්‍රී ලංකාව, චීන ණය උගුලක හිරවෙලාද?
අපේ ස්වෛරී රටේ අඹ යාළුවා - ස්වෛරී බැඳුම්කරය
වර්තමානයේ තිබෙන ලොකුම අවදානම මොනවාද?
පළමුව, ඇයි මෙච්චර ණය ගත්තේ?
දිගින් දිගටම ශ්‍රී ලංකා රජයට මේ ආකාරයට ණය ගැනීමට සිදුවී ඇත්තෙ, අවශ්‍ය ආදායම අනෙකුත් මාර්ග හරහා එකතුකරගැනීමට නොහැකිවීම නිසාය. රජයන් සාමාන්‍යයෙන් ණය ගන්නේ වියදම් සපුරාලීමට සරිලන පරිදි ආදායම් එකතුකරගැනීමට නොහැකි වන විටයි. ආරක්ෂාව සැපයීම, නීතිය හා සාමය පවත්වාගෙනයාම, හා සමාජ සුබසාධනය තහවුරු කිරීම, රජයක ප්‍රමුඛ වගකීම් අතර වේ.
ගුරුවරුන්, වෛද්‍යවරුන්, පොලිස් නිලධාරීන් සහ හමුදා භටයින් වැනි රාජ්‍ය සේවකයින්ගේ වැටුප් සහ, මාර්ග, වාරිමාර්ග පද්ධති, සහ වෙනත් යටිතල පහසුකම් ඉදිකිරිම සඳහා කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීම් සිදුකිරීම සඳහා, රජය විසින් විශාල මුදලක් වැය කළ යුතු වේ. මේ පිරිවැය දරා ගැනීම සඳහා රජය අඛණ්ඩව ආදායම් මාර්ගද පවත්වාගෙනයායුතුයි. රජයේ ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ බදු ආදායමයි. භාණ්ඩ හා සේවා, පුද්ගලයින් හෝ සමාගම් මත බදු පැනවීමේ හැකියාව රජයට තිබේ. නමුත් මෙම බදු හරහා වියදම් පියවීමට ප්‍රමාණවත් ආදායමක් නොලැබුණහොත්, හිඟය පියවන්න ණය ගැනීමට සිදුවනු ඇත.
රජයන් ණය ගන්නා විට දේශීය මූලාශ්‍රවලින් හෝ විදේශීය මූලාශ්‍රවලින් ණය ගත හැකිය. දේශීය ණය ගැනීම බොහෝ විට සිදුවන්නේ භාණ්ඩාගාර බිල්පත් හෝ බැඳුම්කර හරහායි; මෙය රජයේ සුරැකුම්පත් ලෙස හැඳින්වේ. මෙම ලිපියේදී අපගේ අවධානය යොමුකරන්නේ විදේශ මුලාශ්‍රයන්ගෙන් රජය ලබාගත් ණය පිළිබඳවයි.
ශ්‍රී ලංකාවේ විදේශ ණය තත්වය, සැකෙවින්
පසුගිය දශක පහ පුරාවටම ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා විදේශ ණය විශාල වශයෙන් උපයෝගී කර ඇත. වෙනත් රටවල් හා ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර සංවිධාන වලින් ලබාගත් ණය මුදල්වලින්, 70 හා 80 දශකයන්හිදී මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය ඇතුළු විශාල ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කෙරුණේය.
දශක කිහිපයක් පුරාම, සංවර්ධනය සඳහා සහනදායක විදේශ ණය මත යැපීමට ශ්‍රී ලංකාවට සිදුවුණේය. මේ හේතුවෙන් බොහෝ ආර්ථික විද්‍යාඥයින් ශ්‍රී ලංකාව විදෙස් දායකයින්ගේ සුරතලෙක් (donor darling) ලෙස හඳුන්වනු ලැබුණේය.
පහත රේඛා සටහනේ, 1951 සිට 2020 වර්ෂය දක්වා, රටේ ජාතික ණය බර (දේශීය හා විදේශීය), දල දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස පෙන්වාදී ඇත.
1977 වර්ෂයෙන් පසුව ආර්ථිකය විවෘත කිරීමත් සමඟම, ණය ගැනීම තවදුරටත් ඉහළයාම හේතුවෙන්, ජාතික ණය බර සිඝ්‍රයෙන් වර්ධනය වුණේය. 1980 වර්ෂයේ, යටිතල පහසුකම් හා පරිභෝජනය සඳහා අඛණ්ඩව ණය ගැනීම හේතුවෙන් මෙම අගය තවත් ඉහල ගියේය. 1989 වර්ෂය වෙද්දී, රටේ ජාතික ණය බර, දල දේශීය නිෂ්පාදනයෙන් 109%ක් දක්වා වැඩිවුණේය. 1989 වර්ෂයේදී දල දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස විදේශ ණය, 62%ක් දක්වා වැඩිවුණේය.
විදේශ ණය ප්‍රතිශතය සිඝ්‍රයෙන් වැඩිවෙද්දී, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) උපකාරය සමඟ, රටට විවිධ අර්බුද වලට යම්තාක් දුරකට මුහුණ දීමට හැකිවුණේය. ඒ හැකියාව තිබුනේ, මේවනවිට රට ලබාගත් විදේශ ණයෙන් බහුතරයක්, සහනදායි කොන්දේසි මත ලබාගත් බැවිනුයි. මේ සහනදායි ණය සඳහා සාමාන්‍යයෙන් අඩු පොලියක් තිබුණු අතර, නැවත ගෙවීම සඳහා අවුරුදු 20ත් - 40ත් අතර කාලයක් ලබාදී තිබුණේය. මේ හේතුවෙන් රජයට වාර්ෂිකව ණය වාරික ගෙවීම් සඳහා විශාල මුදලක් වැය කිරීමට අවශ්‍යවුනේ නැත.
නමුත්, 1997 වර්ෂයේ, ශ්‍රී ලංකාව මැදි ආදායම් රටක් බවට පත්වීමත් සමඟම, මේ තත්වය වෙනස් වුණේය. මැදි ආදායම් රටක් බවට පත්වීමත් සමඟම, ජාත්‍යන්තර සංවර්ධන ආයතනයන්, ශ්‍රී ලංකාව සඳහා ලබාදුන් සහන ණය මුදල් ප්‍රමාණය අඩුකිරීමට පියවර ගත්තේය. ශ්‍රී ලංකාව, එක පුද්ගල ආදායම ගත්කල මැදි ආදායම් රටක් බවට පත්වුවද, එවන විටත්, ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනයට විශාල අවශ්‍යතාවයක් තිබුණේය. එමෙන්ම, රටේ ආර්ථික ව්‍යුහය සම්බන්දයෙන්ද විශාල ගැටළු තිබුණේය. රජයන් දිගින් දිගටම විශාල අයවැය හිඟයන් පවත්වාගෙන ගිය අතර, යටිතල පහසුකම් සඳහා තනිව ආයෝජනය කිරීමේ හැකියාව රජයට තිබුනේ නැත.
මේ හේතුවෙන් ශ්‍රී ලංකාව විදේශ ණය ගැනීම සඳහා විකල්පයන් සොයමින් ගියා. ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොලෙන් ණය ගැනීම එක විකල්පයක් වූ අතර, තවත් විකල්පයක් වුයේ අපනයන-ආනයන බැංකු (EXIM banks), විශේෂයෙන් චීනයේ එක්සිම් බැංකුවෙන් ණය ලබාගැනීමයි. මේවා වාණිජ ණය වූ බැවින්, ණය ගැනීමේ පිරිවැයද වැඩිවුණි. පසුගිය දශක දෙක තුල ශ්‍රී ලංකාව විදේශ ණය ලබාගන්නා ක්‍රමවේදය සම්පුර්ණයෙන්ම වෙනස් වුණා. 2020 වර්ෂයේ අවසානය වෙද්දී, රට ලබාගත් විදේශ ණය ප්‍රමාණයෙන් 51%ක් ලබාගෙන තිබුනේ සහනදායි නොවන, වාණිජ ණය හරහායි.
සරලව කිවහොත්, වැඩි පොලි අනුපාතයක් හා සාපේක්ෂව කෙටි ආපසු ගෙවීමේ කාලයක් තිබෙන ණය, සහනදායි නොවන ණය ලෙස හැඳින්වේ. ආපසු ගෙවීමේ කාලය සාමන්‍යයෙන් ණය ප්‍රමාණය අනුව තීරණය වනු ඇත. අඩු පොලියක් හා දිගු ආපසු ගෙවීමේ කාලයක් තිබෙන සහනදායි ණය සමඟ සංසන්දනය කිරීමේදී, සහනදායි නොවන ණය සඳහා වැඩි පිරිවැයක් දැරීමට සිදුවන බව පෙනී යයි. සහනදායි හා සහනදායි නොවන ණය සඳහා තාක්ෂණික නිර්වචනය මෙය නොවේ. එය තීරණය වන්නේ ණය කොන්දේසිවල තීව්‍රතාවය මනින, ප්‍රදාන අංගය (grant element) මතයි. සවිස්තරාත්මක තාක්ෂණික කරුණු මෙතනින් ලබාගත හැක.
පහත රේඛා සටහනේ සහ වගුවේ, සමස්ථ ණය ප්‍රමාණයෙන්, වාණිජ ණය සහ සහනදායි ණය ප්‍රතිශතයන්, 2004 සිට 2020 දක්වා වාර්ෂිකව පෙන්වාදී ඇත.
වර්ෂය | වානිජ ණය % | සහනදායි ණය % |
---|---|---|
2004 | 2.55 | 97.45% |
2005 | 3.89 | 96.11% |
2006 | 7.28 | 92.72% |
2007 | 17.08 | 82.92% |
2008 | 15.29 | 84.71% |
2009 | 27.8 | 72.20% |
2010 | 37.42 | 62.58% |
2011 | 42.95 | 57.05% |
2012 | 50.51 | 49.49% |
2013 | 49.57 | 50.43% |
2014 | 52.11 | 47.89% |
2015 | 51.19 | 48.81% |
2016 | 53.1 | 46.90% |
2017 | 54.85 | 45.15% |
2018 | 54.85 | 45.15% |
2019 | 56.77 | 43.23% |
2020 | 53.8 | 46.20% |
කාගෙන්ද ණය ගත්තේ? මොනවටද?
2000 වර්ෂයේ සිට, ශ්‍රී ලංකාව විදේශ ණය ලබාගෙන ඇත්තේ ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් සඳහාය. පළමුව, අධිවේගී මාර්ග හා ගුවන්තොටුපොළ වැනි යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහාය. දෙවනුව, අතීතයේ ලබාගත් විදේශ ණය සඳහා ආපසු ගෙවීම් සිදුකිරීම සඳහාය.
රටේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මුදල් ලබාගත් ප්‍රධාන ක්‍රමවේදය වන්නේ ව්‍යාපෘති මත පදනම්වූ විදේශ ණයයි. අතීතයේ ගත් විදේශ ණය ආපසු ගෙවීම සඳහා මුදල් ලබාගත්තේ ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොල හරහාය. ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොලෙන් ණය ලබාගත් ප්‍රධාන ක්‍රමවේදය වන්නේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) නිකුතුවන්ය.
යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ලබාගත් ණය ප්‍රමාණය හා ඒ ණය ලබාගත් ආකාරය පිළිබඳව සොයා බලමු.
2000 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා, පිළිවෙලින් ආ රජයන්, ක්ෂේත්‍ර කිහිපයක විශාල ව්‍යාපෘති ආරම්භ කළා. මේ සියල්ල සඳහා මුදල් ලබාගත්තේ විදේශ ණය හරහායි. බොහෝ ව්‍යාපෘති 2005 වර්ෂයෙන් පසුව ආරම්භකර අතර, ඇතැම් ව්‍යාපෘති සඳහා 2000 වර්ෂයෙන් පසුව සැලසුම් ඉදිරපත් කෙරුණේය. 2005 සිට 2021 අතර කාලය තුල අධිවේගී මාර්ග දෙකක් (දක්ෂිණ අධිවේගී මාර්ගය සහ කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය) විවෘත කෙරුණේය. මේ අධිවේගී මාර්ග දෙක යා කෙරෙන පිටත වටරවුම් අධිවේගී මාර්ගය, රටේ ප්‍රථම ගල් අඟුරු බලාගාර සංකීර්ණය, නව ජාත්‍යන්තර වරායක්, හා නව ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් ද මේ කාලය තුලදී විවෘත කෙරුණේය. මීට අමතරව රටේ ප්‍රධාන මාර්ග කිහිපයක් ප්‍රතිසංස්කරණය කිරීමටත්, උතුරු දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමටත්, දකුණු දුම්රිය මාර්ගය දිගු කිරීමටත් පියවර ගැනුණේය. කොළඹ හා මහනුවර අතර දිවෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ආරම්භකර ඇති අතර, එහි පළමු අධියරය 2021 වර්ෂයේ මුල් භාගයේදී විවෘත කෙරුණේය.
මේ යටිතල පහසුකම් ව්‍යාපෘති බොහොමයක් සඳහා මුදල් ලබාගෙන ඇත්තේ විශේෂයෙන්ම චීනයේ එක්සිම් බැංකුව විසින් ලබාදුන් ව්‍යාපෘති ණය හරහාය. ව්‍යාපෘති ණය වලට අමතරව, ISB (බැඳුම්කර) නිකුතු හරහාද මුදල් එක්රැස් කිරීමට රජයට හැකිවුණු අතර ඒ මුදල්ද සමහර අවස්ථාවල යටිතල පහසුකම් සංවර්ධනයට යොදා ගැනුණේය.
ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා රජය ලබාගත් ණය මුදල්, ණය ලබාදුන් රටවල් හෝ ආයතන, හා ණය කොන්දේසි පෙන්වාදී ඇත.
Project Name | Lender | Agreement Date | Amount (In USD) | Grace Period (Years) | Loan Period Including Grace Period (Years) | Interest Rate |
---|---|---|---|---|---|---|
Puttalam Coal Power Project - Preferential Buyer's Credit | China | 2005/08/30 | 300,000,000 | 7 | 21 | 2 |
National Highways Sector Project | ADB | 2006/12/14 | 150,000,000 | 4 | 24 | LIBOR 6+0.6 |
Puttalama Coal Power Project - Buyer's Credit Facility. | China | 2006/09/08 | 152,982,427 | 9 | 18 | LIBOR 6+1 |
Colombo Port Expansion Project | ADB | 2007/04/25 | 300,000,000 | 5 | 25 | LIBOR 6 |
Hambantota port development project | China | 2007/10/30 | 306,726,735 | 6 | 17 | 6.3 |
Upgrading of Railway Line Colombo Matara. | India | 2008/07/23 | 100,000,000 | 4 | 16 | LIBOR 6+0.5 |
Uma Oya Hydro Electric and Irrigation Project (Iran) | Iran | 2008/04/28 | 450,000,000 | 6 | 15 | LIBOR 6 |
Clean Energy and Access Improvement Project | ADB | 2009/06/17 | 135,000,000 | 5 | 24 | LIBOR 6+0.2 |
Colombo - Katunayake Expressway (CKE) Section A2 | China | 2009/08/06 | 63,573,815 | 4 | 16 | 6.3 |
Colombo - Katunayake Expressway ( CKE) Section A1 | China | 2009/08/06 | 70,041,527 | 4 | 16 | 6.3 |
Colombo - Katunayake Expressway (CKE) Section A3 | China | 2009/08/06 | 47,801,344 | 4 | 16 | 6.3 |
Colombo Katunayake Expressway (CKE) Section A4 | China | 2009/08/06 | 66,783,314 | 4 | 16 | 6.3 |
Puttalam Coal Power Project - Phase II | China | 2009/12/25 | 891,000,000 | 5 | 20 | 2 |
Northern Road Rehabilitation Project- 11B | China | 2010/09/09 | 42,509,700 | 4 | 16 | LIBOR 6+2.4 |
Northern Road Rehabilitation Project ( Mulativu _ Kokkilai) - 11A | China | 2010/09/09 | 42,767,677 | 4 | 15 | LIBOR 6+2.4 |
Northern Road Rehabilitation Project-(AB020) (AB032)(AB016)(AB018) | China | 2010/09/09 | 74,758,205 | 4 | 15 | LIBOR 6+2.4 |
Northern Road Rehabilitation Project-A009 ( From 230 Km Post to Jaffna) | China | 2010/09/09 | 70,510,671 | 4 | 15 | LIBOR 6+2.4 |
Hambantota Port Development Phase I for Ancillary Work and Supply of Equipment Project | China | 2013/04/24 | 140,000,000 | 5 | 20 | 2% |
Hambantota Port Development Project - Phase II | China | 2012/09/17 | 51,000,000 | 4 | 15 | LIBOR 6 months for USD +4% |
Hambantota Port Development Project Phase II | China | 2012/09/17 | 145,000,000 | 7 | 20 | 2% |
Hambantota Port Development Project - Phase II | China | 2012/09/17 | 600,000,000 | 6 | 19 | 2% |
Railway Line Omanthai-pallai, Madhu-Tallaimannar & Medawachchiya | India | 2010/11/26 | 416,390,000 | 5 | 40 | LIBOR 6+0.5 |
Construction of Outer Circular Highway Project - Phase 1 | Japan | 2007/03/28 | 187,324,000 | 10 | 30 | 1.5 |
Construction of Outer Circular Highway Project- Phase 2(I) | Japan | 2008/07/29 | 52,458,000 | 10 | 40 | 0.2 |
Construction of Outer Circular Highway Project - Phase 2 (II) | Japan | 2011/03/22 | 391,209,000 | 10 | 40 | 0.2 |
Restoration of Northern Railway Services | India | 2012/01/17 | 382,370,000 | 6 | 24 | LIBOR 6+0.5 |
Mattala Hambantota International Airport Project | China | 3/5/2010 | 191,200,000 | 6 | 20 | 2 |
Matara Beliatta Section of Matara Kataragama Railway Extension Project | China | 4/19/2013 | 200,000,000 | 7 | 19 | 2 |
Matara- Beliatta Section of Matara - Kataragama Railway Extension Project | China | 5/4/2014 | 83,278,000 | 8 | 21 | 2 |
Construction of Outer Circular Highway Project Phase III from Kerawalapitiya to Kadawatha | China | 1/25/2017 | 494,037,400 | 5 | 20 | 2 |
Construction of Extension of Southern Expressway, Section 4 from Mattala to Hambantota via Andarawewa Project | China | 1/20/2017 | 414,454,000 | 6 | 20 | 2 |
Hambantota Hub Development Project | China | 1/20/2017 | 255,081,000 | 6 | 20 | 2 |
Construction of Extension of Southern Expressway Section 1 from Matara to Beliatta | China | 1/25/2017 | 683,494,300 | 6 | 21 | 2 |
Construction of Extension of Southern Expressway, Section 2 from Beliatta to Wetiya Project | China | 6/24/2016 | 360,293,948 | 5 | 20 | 2 |
Central Expressway Project - Section 01 from Kadawatha to Meerigama | China | 3/22/2019 | 989,000,000 | 6 | 20 | 2.5 |
මේ දත්ත වලින් පෙන්වාදෙන්නේ, විශාල යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සඳහා රජය අතිවිශාල මුදලක් ණයට ගෙන වියදම් කර ඇති බවයි. නමුත් රටේ වාතාවරණය හා ආර්ථික තත්වය ගත් විට, මෙම ව්‍යාපෘති වල අවශ්‍යතාවය පිළිබඳව ප්‍රශ්න පැනනැගෙනු ඇත. කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය හා මාතර දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගය ජනතාවට පොදුවේ ප්‍රයෝජනවත් වී ඇති බව කිව හැකි නමුත්, අයවැය හිඟය අඩුකිරීමේ අවශ්‍යතාවය තිබෙද්දී, හා ජංගම ගිණුමේ හිඟය වැඩිවෙද්දී, දෙවැනි ජාත්‍යන්තර ගුවන් තොටුපොළක්, හා දක්ෂිණ අධිවේගී මාර්ගය හම්බන්තොට දක්වා දිගු කිරීම, අත්‍යාවශ්‍ය ව්‍යාපෘති ලෙස සැලකිය හැකිදැයි යන ගැටලුව අපට මතුවේ.
දකුණු දුම්රිය මාර්ගයද බෙලිඅත්ත දක්වා දිගු කිරීම, ආර්ථික වශයෙන් ප්‍රමුඛ කාර්යයක් වුනේ කෙසේද? දක්ෂිණ අධිවේගී මාර්ගයේ, මාතර සිට හම්බන්තොට දක්වා කොටස ඉදිකිරිම සඳහා රජයට ඩොලර් බිලියනයකට අධික මුදලක් ණය ලෙස ලබාගැනීමට සිදුවුණේය. මෙය කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය සඳහා ලබාගත් ණය මුදලට හතර ගුණයකින් වැඩි අගයකි. එමෙන්ම, දකුණු දුම්රිය මාර්ගය, මාතර සිට කතරගම දක්වා දිගු කිරීම සඳහා ලබාගත් ණය මුදල ද, කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය සඳහා ලබාගත් ණය මුදලට වැඩි වේ.
ශ්‍රී ලංකාව, චීන ණය උගුලක හිරවෙලාද?
ඉහත වගුව පරීක්ෂා කිරීමෙන් පසුව, ශ්‍රී ලංකාව ලබාගන්නා විදේශ ණය වලින් බහුතරයක් ලැබෙන්නේ චීනයෙන් කියා ඔබ උපකල්පනය කළ හැකිය. නමුත්, 2005 සිට චීනයෙන් ලබාගත් ණය මුදල් වැඩිවුවද, අපේ ප්‍රධාන ණයහිමියා, චීනය නොවේ. මීට පෙර පවසා ඇති පරිදි, ඩොලර් එක්රැස් කිරීම සඳහා, රජය ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) නිකුත්කිරීමට යොමුවුණේය. 2020 වර්ෂය අවසන් වන විට, ශ්‍රී ලංකා රජය විසින් ආපසු ගෙවිය යුතු ණය මුදලින්, 40%ක් ලබාගෙන තිබුනේ ව්‍යාපෘති ණය හරහා නොව මෙම ස්වෛරී බැඳුම්කර හරහාය.
පහත වගුවෙන් ණයහිමියන් සහ ආපසු ගෙවිය යුතු මුදල් ප්‍රමාණය පෙන්වාදී ඇත.
රටේ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති බොහොමයක් සඳහා චීනය විසින් ණය මුදල් සපයා ඇති නමුත්, විදේශ ණය ලබාගැනීමේදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන මුලාශ්‍රය චීනය නොවේ. ආපසු ගෙවිය යුතු ණය මුදලින් විශාලතම පංගුව හිමිකරගෙන සිටින්නේ ශ්‍රී ලංකාවේ ISB ණයහිමිකරුවන් වන අතර, ආපසු ගෙවීම් කළමනාකරණය කිරීමේදීද රට මුහුණපා සිටින විශාලතම අභියෝගය මෙයයි.
අපේ ස්වෛරී රටේ අඹ යාළුවා - ස්වෛරී බැඳුම්කරය
ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර වල ස්වභාවය පිළිබඳව අපේ අවධානය යොමුකරමු.
ISB හෙවත් ස්වෛරී බැඳුම්කර, වාණිජ ණය මෙවලමක් ලෙස හැඳින්විය හැකිය. මෙලෙස ගන්න ණය, ව්‍යාපෘතියකට සම්බන්දවන්නේ නැත. ඉල්ලා ඇති ණය ප්‍රමාණයේ සමස්ථය, එකවරම ලැබෙන අතර, ISB හරහා ලබාගන්නා ණය මුදල් භාවිතා කිරීමේදී රජයට කොන්දේසි විරහිතව ක්‍රියාකිරීමේ හැකියාව තිබේ. රටක රජය වගකීම් විරහිතව ක්‍රියාකිරීමේ ප්‍රවනතාවයක් තිබුණහොත්, ඒ රටේ ජනතාව ගත්කල, මෙය ඉතා භයානක තත්වයක් විය හැකිය.
ISB හරහා ලබාගන්නා ණය, විදේශ විනිමය සංචිත වැඩිකිරීම සඳහා භාවිතා කළ හැක. ගෙවුම් ශේෂයේ දුර්වලතා අවම කිරීම සඳහාද මෙය ප්‍රයෝජනයට ගැනීමට හැකිය. ව්‍යාපෘති සඳහා, ජාත්‍යන්තර සංවිධාන, වෙනත් රටවල් හෝ EXIM බැංකු හරහා ලබාගන්නා ණය, ඒ ඒ ව්‍යාපෘතියට බැඳී ඇති බැවින් එම ණය මුදල් වෙනත් කාර්යයන් සඳහා යොමුකිරීමේ හැකියාවක් නැත.
තවද, බොහෝ අවස්ථාවලදී, ඉදිකිරීම් කොන්ත්‍රාත්තු ලබාදෙන්නේ, ණය ලබාදුන් රටේ සමාගම් වෙතයි. උදාහරණයක් වශයෙන්, උතුරු දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය සඳහා කොන්ත්‍රාත්තුව, ඉන්දීය රජයට අනුබද්ධ IRCON ජාත්‍යන්තර සමාගමට ලබාදුන් අතර, හම්බන්තොට වරායේ ඉදිකිරීම් සඳහා කොන්ත්‍රාත්තුව ලැබුනේ චීන වරාය සමාගමටයි. ISB හරහා ලබාගන්නා ණය වලට මෙවන් සීමා හෝ කොන්දේසි නැත.
ව්‍යාපෘති සඳහා ලබාගන්නා ණයවලට වඩා වැඩි පිරිවැයක් ISB ණය ලබාගැනීමේදී දැරීමට සිදුවන බවද මතක තබා ගත යුතුයි. මෙම බැඳුම්කර, ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොලේ නිකුත් වන හෙයින්, පොලි අනුපාතය සහන ණය හෝ ව්‍යාපෘති ණය වලට වඩා බෙහෙවින් වැඩිවනු ඇත. දැනට ශ්‍රී ලංකාව නිකුත්කර ඇති ISB සඳහා, 5.13% සිට 8.75% දක්වා වාර්ෂික පොලි අනුපාතයන් තිබේ. බොහෝ ව්‍යාපෘති සඳහා ලබාගත් විදේශ ණය වල පොලි අනුපාතය 2%ට අසන්න අගයකි. ලෝක බැංකුවෙන් හා ජපානයෙන් ලබාගත් සහන ණය වල පොලි අනුපාතය 1%ට අඩුවූ අතර, මැදි ආදායම් රටක් බවට පත්වීමත් සමඟම එවැනි ණය පහසුකම් ලබාගැනීමේ හැකියාවද අඩුවුණා. අධික පොලියට අමතරව, බැඳුම්කරය කල් පිරීමත් සමඟම, මුළු මුදල එකවර ආපසු ගෙවිය යුතුයි.
ඉදිරියේදී ශ්‍රී ලංකාව ආපසු ගෙවීම් සිදුකල යුතු, කල් පිරෙන ISB ප්‍රමාණය කොපමණද? ගැඹුරු හුස්මක් ගෙන පහත වගුව දෙස බලන්න.
ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රශ්නය අවබෝධ කරගැනීමේදී, ISB වල බලපෑම අවබෝධ කරගැනීම අතිශයින් වැදගත් වේ.
වසර 5න් කල්පිරෙන, ඩොලර් මිලියන 500ක බැඳුම්කර ශ්‍රී ලංකාව විසින් නිකුත් කර ඇතැයි, උපකල්පනය කරමු. මේ සඳහා ශ්‍රී ලංකා රජය, වාර්ෂික පොලිය සැම වසරේම වාරික දෙකක් හරහා ගෙවිය යුතුයි. ඒ සමඟම, වසර 5න් බැඳුම්කර කල් පිරීමත් සමඟම, ලබාගත් ණය මුදල වන ඩොලර් මිලියන 500, එකවර ආපසු ගෙවිය යුතියි. ව්‍යාපෘති ණය සඳහා ආපසු ගෙවීම් සිදුකරන ක්‍රමවේදයට වඩා මෙය හාත්පසින්ම වෙනස් වේ. ව්‍යාපෘති ණය ආපසු ගෙවීම සඳහා වසර 20ත් - 30ත් අතර කාලයක් ලැබෙන අතර, එකවර විශාල මුදලක් ගෙවීමට සිදුවන්නේ නැත.
එකවර විශාල මුදලක් ආපසු ගෙවීමට සිදුවන විට, ශ්‍රී ලංකාව වැනි රටක ආර්ථිකයට, එයින් ලොකු පීඩනයක් එල්ලවේ. ආපසු ගෙවීම ඩොලර් වලින් සිදුකරන නිසා, රටෙන් විශාල ලෙස විදේශ විනිමය පිටතට ගලායාම වැළැක්විය නොහැකිය. ඒ හේතුවෙන්, විදේශ විනිමය සංචිත හා ගෙවුම් ශේෂයට බලපෑම් එල්ලවේ. නමුත්, රටට විදේශ විනිමය ගලා ඒම වැඩිකළ හැකි නම්, මෙම තත්වය වැළැක්විය හැකිය. විදේශ විනිමය ගලා ඒම වැඩිකිරීමට ඇති ප්‍රධාන මාර්ග දෙක වන්නේ, අපනයන ඉපැයීම් වර්ධනය හා ඍජු විදේශ ආයෝජනයයි (FDI).
එසේවුවද, රටේ ආර්ථිකය පිළිබඳව මීට පෙර අප ඉදිරිපත් කරපු ලිපියේ පෙන්වාදී ඇති පරිදි, අපනයන ඉපැයීම්, දල දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස වර්ධනය කිරීමට, රට අසමත් වී ඇත. ඍජු විදේශ ආයෝජනවලටද අත්ව ඇත්තේ එවන් ඉරණමක්ය. දල දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස, විදේශ ආයෝජනය ඉතා අඩු අගයක පවතියි. එහෙයින්, රටට විදේශ විනිමය ගලා ඒම, එක තැන පල් වූ අතර, රටින් පිටතට විදේශ විනිමය ගලායාම, සිඝ්‍රයෙන් වැඩිවුණේය. පහත රේඛා සටහනෙන් පෙන්වාදී ඇත පරිදි 2020 වර්ෂය වන විට රටේ අපනයන ඉපැයීම් වලින් 33.5%ක් වැයවුයේ රටේ විදේශ ණය පියවීම සඳහාය.
ISB ආපසු ගෙවීම් හරහා ඇතිවිය හැකි බලපෑම් අවම කිරීම සඳහා, රජය හා මහබැංකුව, විදේශ විනිමය සංචිත ශක්තිමත් කිරීමට පියවර ගත යුතුයි. අපනයන ඉපැයීම් වර්ධනය කිරීමට අසමත් වීමත් සමඟම, ණය ආපසු ගෙවීම සඳහා 2014 සිට සංචිත ලබාගත්තේ තවත් ISB නිකුතුවන් හරහාය. මෙය හඳුන්වන්නේ ප්‍රතිමුල්‍යකරණය ලෙසයි. 2015 සිට 2020 දක්වා කාලය තුල, ඩොලර් මිලියන 11,500 වටිනා ISB නිකුතුවන් 10ක් ශ්‍රී ලංකා රජය විසින් සිදුකෙරුණේය. එහෙත්, තවදුරටත් ISB නිකුතු හරහා ප්‍රතිමුල්‍යකරණය කිරීමේ හැකියාවක් රටට නැත.
වර්තමානයේ තිබෙන ලොකුම අවදානම මොනවාද?
ISB ප්‍රතිමුල්‍යකරණය මත පදනම්ව, අවදානමට ලක්විය හැකි ආර්ථිකයක් පවත්වාගෙන යාමේ ප්‍රධාන ගැටළුවක් වන්නේ, රජයේ පාලනයට නතු නොවන, බාහිර බලපෑම් එල්ල වීමයි. ISB විකිණීම හරහා ආයෝජකයින්ගෙන් මුදල් ලබාගැනීමෙ හැකියාව බොහෝ විට තීරණය වන්නේ රටේ ණය ශ්‍රේණිගතකිරීම මතයි. මෙම ශ්‍රේණිගතකිරීම් හරහා ආයෝජකයින් රටක ණය ආපසු ගෙවීමේ හැකියාව තක්සේරු කරනු ඇත.
ණය ශ්‍රේණිගත කිරීම තීරණය වන්නේ, රටේ දේශපාලනික හා ආර්ථික ස්ථාවරත්වය, බාහිර බලපෑම්වලට ඔරොත්තු දීමේ හැකියාව, අතීතයේ තිබු හා අනාගතයේ අපේක්ෂා කරන අයවැය හිඟයන් හෝ අතිරික්ත, සහ ඍජු විදේශ ආයෝජනය ආකර්ෂණය කිරීමේ හැකියාව, ඇතුළු කාරණා බොහොමයක් මතය.
පෙර ලිපියේ පෙන්වාදුන් පරිදි, මෑත ඉතිහාසයේ, ශ්‍රී ලංකා ආර්ථිකයට බොහෝ ව්‍යුහාත්මක දුර්වලකම්වලට මුහුණදීමට සිදුවී ඇත. අඩු බදු ආදායම හා එක තැන පල් වන අපනයන ඉපැයීම් වැනි ව්‍යුහාත්මක ගැටළු, රටේ ණය ශ්‍රේණිගතකිරීමට අහිතකර බලපෑමක් එල්ලකර ඇත. COVID-19 වසංගතය හේතුවෙන් සංචාරක කර්මාන්තය කඩාවැටීම තුලින්, මෙම ආර්ථික දුර්වලකම් තවත් උග්‍ර වී ඇත.
2021 වර්ෂයේ ජනවාරි මාසයේදී, ෆිච් (Fitch) ආයතනය ශ්‍රී ලංකාවට, 2019 වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී ලබාදුන් B ණය ශ්‍රේණිය, CCC දක්වා පහත් කළේය. මේ පියවරය ගැනීමට ප්‍රධාන හේතුව වුයේ මධ්‍ය කාලීනව රටට ණය ආපසු ගෙවීමේදී දුෂ්කරතා තිබීමයි.
https://twitter.com/newsdotlk/status/1472207979852144641
ප්‍රවෘත්ති නිවේදන නිකුත් කිරීම (ඉහල) සහ කබරයාට තලන ට්විටර් පණිවුඩ (පහත), හරහා ශ්‍රී ලංකා රජය දිගින් දිගටම ශ්‍රේණිගත කිරීම් පහත දැමීමට ගත් පියවර හෙලා දැකීමට වගබලා ගත්තේය.
https://twitter.com/an_cabraal/status/1419681474526302212
මෙවැනි ක්‍රියා වලින් රටට කිසිඳු පලයක් නැත. සත්‍යය වන්නේ රටේ ශ්‍රේණිගතකිරීම පහත දමා ඇති බවයි. මේ හේතුවෙන් නව ISB නිකුත්කිරීම හා පරණ ණය ආපසු ගෙවීම අපහසු වී ඇත. සංචාරක කර්මාන්තය කඩාවැටීමෙන් රටට වාර්ෂිකව ඩොලර් බිලියන 4ක් අහිමිවීමත් සමඟම, ප්‍රතිමුල්‍යකරණය තවදුරටත් විසඳුමක් නොවන තත්වයකට පත්ව ඇත.
ආනයන සඳහා ගෙවීම් කිරීමට රටට විදේශ විනිමය නොමැති අතර, විදේශ ණය ආපසු ගෙවීමට අපහසු තත්වයක් උද්ගත වී ඇත. සාමාන්‍යයෙන් මෙවැනි තත්වයක් උද්ගත වූ විට, රටවල් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) පිහිට පතනවා. නමුත් ශ්‍රී ලංකා රජය අනුගමනය කරමින් සිටින්නේ එයට බෙහෙවින් වෙනස් ක්‍රියාපටිපාටියක්ය. විදේශ විනිමය පිටත යාම සීමාකිරීම සඳහා පියවර ගෙන ඇති අතර, ආනයන සීමාද පනවා ඇති අතර, රජය සතු සංචිත වලින් ණය ගෙවීම් සිදු කරන අතර, බලධාරීන් දිගින් දිගටම කියා සිටින්නේ තමන් IMF ආයතනයට නොයන බවත්, ණය ප්‍රතිව්‍යුහගතකිරිමකට යොමු නොවන බවයි.
https://twitter.com/NewsWireLK/status/1460541332649230340
අවසානයේදී සිදුව ඇත්තේ කුමක්ද? මේ වන විට රටේ විදේශ විනිමය සංචිත සිඳී යමින් පවතියි. 2022 ජනවාරි වන විට, භාවිතයට ගත හැකි සංචිතවල ප්‍රමාණය ඩොලර් බිලියනයකට අඩු අගයකට වැටී ඇත. විදේශ විනිමය හිඟය හේතුවෙන්, ආනයන සඳහා ගෙවීම් කිරීමට නොහැකිවන බැවින්, භාණ්ඩ හා සේවාවන් වලද හිඟයන් මතුවී ඇත.
රටට අවශ්‍ය ඉන්ධන සැපයුම ලබාගැනීමට නොහැකි තත්වයක් මතුවී ඇත. මේ හේතුවෙන් ඩීසල් සහ පෙට්‍රල් හිඟයන් ඇතිවූ අතර, පිරවුම්හල් වල දිගු පෝලිම් සුලභ දසුනක් බවට පත්ව ඇත. ඉන්ධන හිඟය නිසා දෛනිකව පැය 7 හමාරක් දක්වා විදුලිය කප්පාදුකිරීමට සිදුවී ඇත. විදේශ ණය දැන් රජයේ ප්‍රශ්නයක් පමණක් නොව, සියලු රටවැසියන්ට ප්‍රශ්නයක් වී ඇත.
පහත විකට චිත්‍රය තුලින්, පවතින තත්වය හා බලධාරීන් එයට මුහුණ දෙන අන්දම, හොඳින් පිළිඹිඹු කරයි.
අවසන් නිගමනය.
අතේ හකුරු ඇත්නම් කොයි ලිඳෙත් වතුර තිබෙන බවට කියමනක් තිබේ. ශ්‍රී ලංකාව විදේශ ණය ගත්තේ, අතේ හකුරු තියෙනවා යැයි උපකල්පනය කරමින් විය හැකිය. අවාසනාවට අතේ තිබ්බේ හකුරු නොව අසුචියයි.
රටේ වියදම් බහුතරයක් සඳහා ණය ගැනීමට ශ්‍රී ලංකාව පුරුදුවී ඇත. පිළිවෙලින් ආ රජයන්, අඩු බදු ආදායම හා අඩු අපනයන ඉපැයීම් වැනි ආර්ථිකයේ ව්‍යුහාත්මක ගැටළු විසඳීමට ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අසමත් වී ඇත. එහෙත්, අඛණ්ඩව විදේශ ණය ගැනීමටත්, එම මුදල් අවිඥාන ලෙස වියදම් කිරීමටත් වගබලාගෙන ඇත.
2022 ජනවාරි 31 (1) දිනට ගෙවිය යුතු ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර
කල් පිරෙන දිනය | නිකුත් කරන දිනය | මාලාවේ නම | 144A ගෝලීය බැඳුම්කර සඳහා ISIN | රෙගුලාසි S ගෝලීය බැඳුම්කර සඳහා ISIN | කූපන් අනුපාතය | මුදල (USD මිලියන) |
---|---|---|---|---|---|---|
25 July 2022 | 25 July 2012 | SRILAN 5.875 07/22 | US85227SAK24 | USY2029SAH77 | 5.8750 | 1,000.00 |
18 April 2023 | 18 April 2018 | SRILAN 5.750 04/23 | US85227SAV88 | USY8137FAK40 | 5.7500 | 1,250.00 |
14 March 2024 | 14 March 2019 | SRILAN 6.850 03/24 | US85227SAY28 | USY8137FAN88 | 6.8500 | 1,000.00 |
28 June 2024 | 28 June 2019 | SRILAN 6.350 06/24 | US85227SBA33 | USY8137FAQ10 | 6.3500 | 500.00 |
3 June 2025 | 3 June 2015 | SRILAN 6.125 06/25 | US85227SAN62 | USY8137FAC24 | 6.1250 | 650.00 |
3 November 2025 | 3 November 2015 | SRILAN 6.850 11/25 | US85227SAQ93 | USY8137FAE89 | 6.8500 | 1,500.00 |
18 July 2026 | 18 July 2016 | SRILAN 6.825 07/26 | US85227SAR76 | USY8137FAF54 | 6.8250 | 1,000.00 |
11 May 2027 | 11 May 2017 | SRILAN 6.200 05/27 | US85227SAT33 | USY8137FAH11 | 6.2000 | 1,500.00 |
18 April 2028 | 18 April 2018 | SRILAN 6.750 04/28 | US85227SAW61 | USY8137FAL23 | 6.7500 | 1,250.00 |
14 March 2029 | 14 March 2019 | SRILAN 7.850 03/29 | US85227SAZ92 | USY8137FAP37 | 7.8500 | 1,400.00 |
28 March 2030 | 28 June 2019 | SRILAN 7.550 06/30 | US85227SBB16 | USY8137FAR92 | 7.5500 | 1,500.00 |
ISBs Outstanding as at 31.01.2022 | 12,550.00 |
විශාල ණය කන්දරාවක් ආපසු ගෙවීමට තිබුනද, බදු ආදායම හා අපනයන ඉපැයීම් ශක්තිමත් කිරීම පසෙක තබා, රජය අධිවේගී මාර්ග වැනි ව්‍යාපෘති තැනීමට තවත් ණය ගනිමින් සිටින්නේය.
දැන් කළ හැක්කේ කුමක්ද? මුලින්ම, මේ විදේශ ණය ප්‍රශ්නය, කෙටි-කාලීන පැලැස්තර විසඳුම් හෝ වේදිකාවේ සිට කියන කතා හරහා විසඳිය නොහැකි බව රජය පිළිගත යුතුයි. ව්‍යුහාත්මක ගැටළු විසඳීම සඳහා, රටට දිගු කාලීන ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වාදිය යුතුයි.
මේ සඳහා සැලසුමක් ඉදිරිපත් කර, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා IMF ආයතනයේ දායකත්වය ලබාගත යුතුයි. මෙය දුෂ්කර කාර්යයක් වුවද, විදේශ විනිමය හිඟය නිසා, අත්‍යාවශ්‍ය භාණ්ඩ වල සැපයුම අවදානමට ලක්නොකර, දිගින් දිගටම විදේශ ණය ආපසු ගෙවීම් සිදුකිරීම, කළ නොහැක්කක්. අඛණ්ඩ විදුලි හා ඉන්ධන සැපයුම සහතික කිරීම හා විදේශ ණය ගෙවීම අතර තීරණය කරන තත්වයට රට පැමිණ ඇත. දැන්, ගිලින්ටත් බැරි, වමාරන්නත් බැරි, ප්‍රශ්නයට මුහුණදීමට කාලය ඇවිත්. ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා විදේශ ණය ගෙවීම් කල්දැමීමට පියවර ගන්නා අතරතුර, අපගේ ආර්ථික ප්‍රශ්න ක්‍රමානුකූලව පිළිසකර කරන්න ක්‍රියා කළ යුතුයි. වැදගත්ම කාරණාව වන්නේ මෙම අර්බුදයෙන් රජය උගත යුතු පාඩමයි.
මෙම ණය උගුල, චීන උගුලක්වත්, ඇමෙරිකාවේ කුමන්ත්‍රණයක්වත්, වෙනත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්වත් නොවේ. මේ ණය උගුල නිර්මාණය කල ඇත්තේ අප විසින්මයි. ඉදිරියේදී ණය ගැනීමේදී වගකීමකින් යුතුව ණය ගැනීමටත්, ප්‍රමුඛතා හඳුනාගෙන වියදම් කිරිමටත් රජය වගබලාගත යුතුයි.