Analysis
ශ්‍රී ලංකා ආර්ථිකයේ අවුල මොකක්ද?
Jan 31, 2022
ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ දුර්වල තත්ත්වය සහ එයට හේතු වූ අයහපත් ක්‍රියා පිළිබඳ සාරාංශයකි.

ආර්ථික කඩාවැටීම සිදුවුනේ කොහොමද? අතීසාරෙට අමුඩේ ගහන විසඳුම් යොදවන තරමට ආර්ථික පාලනය කඩාවැටීමට හේතු කුමක්ද? මේ සියලු ප්‍රශ්න වලට පිළිතුරු අපේ නේවාසික ආර්ථික විද්‍යාඥයා වෙතින්.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය හා ආර්ථික වර්ධනය සංක්ෂිප්තව

2013 සිට - ආර්ථික වර්ධන වේගය ක්‍රමක්‍රමයෙන් ඇනහිටෙයි

අපි අපනයනය කරන්නේ කුමක්ද?

ආර්ථික වර්ධනය හා ආදායම් අසමානතාවය

ශ්‍රී ලංකාවේ බදු ප්‍රශ්නය

දැන් තත්වය කුමක්ද?

තවත් විදුලි කප්පාදුවීමක් සමඟ අපේක්ෂා භංගත්වය සිඝ්‍රයෙන් වර්ධනය වී ඇත. සමාජ මාධ්‍යයේ #PowerCutLK ට්‍රේන්ඩින්ග් ලැයිස්තුවට ඇතුලත් වී ඇත. WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය හරහා ජනතාව රජයට සාප කරමින් සිටිති.

අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල සිඝ්‍රයෙන් වැඩිවන අතර ඇතැම් භාණ්ඩ සොයාගැනීමටවත් අපහසු තත්වයක් උද්ගතව ඇත. ආහාර, ගැස් හා ඉන්ධන හිඟයන් ඇතිවීමත් සමඟම ජනතාවට ආර්ථිකය පිළිබඳව තියන විශ්වාසය ක්‍රමක්‍රමයෙන් සිඳී යමින් පවතියි. මෙවන් දෛනික අරගල හා ආර්ථික ගැටළු විවිධ ගැටළුසහගත ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රතිවිපාක වේ. මෙහි මුල අවබෝධ කරගැනීමට ශ්‍රී ලංකා ආර්ථිකයට පහුගිය දශක දෙක තුල සිදුව ඇති දේ පිළිබඳව ගැඹුරු ගවේෂණයක් සිදුකල යුතුයි.

“අපි මේ තත්වයට පත්වුණේ කෙසේද?” යන ප්‍රශ්නයේ පසුබිම් කතාව පහත දැක්වේ.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය හා ආර්ථික වර්ධනය සංක්ෂිප්තව

2009දී දශක තුනක් ගෙවී ගිය යුද්ධය අවසන් වීමත් සමඟම, රටේ ආර්ථිකය සිඝ්‍රයෙන් වර්ධනය වීමට පටන් ගැනුනි. එනම් රටේ නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා සිඝ්‍රයෙන් ඉහල ගිය අතර, 2010 වර්ෂයේ ආර්ථික වර්ධන වේගයේ 8%ක් ලෙස සටහන් වුණා. මෙම ප්‍රවණතාවය 2011 හා 2012 වර්ෂයන්හිදී අඛණ්ඩව පැවැත්වුණු අතර, එම වර්ෂයන්හි ආර්ථික වර්ධන වේගය 8.4%ක් හා 9.1%ක් ලෙස සටහන් වුණා.

නමුත්, මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතුවුයේ ඉදිකිරීම් හා සිල්ලර වෙළඳාම වැනි අභ්‍යන්තර ක්ෂේත්‍ර ව්‍යාප්ත වීමයි. අධිවේගී මාර්ග, ගුවන් තොටුපොල, වරායන්, හා කොළඹ නගරයේ හා අවට ප්‍රදේශ වල පැනනැගුනු උස් ගොඩනැගිලි වැනි, රජය හා පෞද්ගලික අංශය විසින් ක්‍රියාත්මක කෙරුණු යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉක්මන් වර්ධනයක් දක්නට ලැබුනා. මෙහි සන්දර්භය අවබෝධ කරගැනීමට සලකා බැලිය යුතු එක් කාරණාවක් වන්නේ, මෙම ව්‍යාපෘති සඳහා වැයවුණු මුදල් ප්‍රමාණයයි. දකුණු අධිවේගී මාර්ගයේ පළමු කොටස සඳහා ඩොලර් මිලියන 740ක් වැයවූ අතර, එය 2011 වර්ෂයේ විවෘත කෙරුණා. රටේ දෙවෙනි අධිවේගී මාර්ගය, එනම් කොළඹ - කටුනායක මාර්ගය, විවෘත කෙරුනේ 2013 වර්ෂයේදීය. එම මාර්ගය සඳහා ඩොලර් මිලියන 292ක් වැයවූ අතර, ණය පහසුකම් ලබාදුන්නේ චීනයේ එක්සිම් (EXIM) බැංකුව විසිනුයි. මෙම ව්‍යාපෘති ඉන් පසුව බලයට පත්වූ ආණ්ඩු යටතේ ද අඛණ්ඩව ඉදිරියට ගෙන ගියා. දකුණු අධිවේගී මාර්ගය තවදුරටත් දීර්ඝ කරන අතර, පිටත වටරවුම් අධිවේගී මාර්ගය ද (Outer Circular Highway) ඉදිකරනු ලැබුවා. 2015 වර්ෂයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ වුණා.

ආර්ථික විද්‍යාඥයන් මෙම ක්ෂේත්‍ර හඳුන්වන්නේ ගනු-දෙනු කල නොහැකි (non-tradable) ක්ෂේත්‍ර ලෙසයි. ඊට හේතුව වන්නේ එම ක්ෂේත්‍රයන්ට අදාල භාණ්ඩ හා සේවා ජාත්‍යන්තරව හුවමාරු කරගැනීමේ හැකියාවක් නොමැති නිසාය. එහෙයින්, මෙම ව්‍යාපෘති හරහා අත්කරගත හැකි ආර්ථික වර්ධනය, රටේ ජනගහනය හා ක්‍රය ශක්තිය (සාමාන්‍ය පුද්ගලයෙකුට භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ හැකියාව) පමණක්මා සීමා වේ. මෙවන් ගනු-දෙනු කල නොහැකි ක්ෂේත්‍ර හරහා අත්පත්කරගත හැක්කේ කෙටි කාලීන ආර්ථික වර්ධනයක් පමණයි. ශ්‍රී ලංකාව වගේ මිලියන 22ක් වැනි සාමාන්‍යයෙන් කුඩා ජනගහනයක් තිබෙන රටවල්වල මෙය බොහෝවිට දිස්වෙනු ඇත.

2013 සිට - ආර්ථික වර්ධන වේගය ක්‍රමක්‍රමයෙන් ඇනහිටෙයි

2013 වර්ෂය වන විට, ආර්ථික වර්ධන වේගය 3.4% දක්වා පහත වැටුණි. මෙම පහල වැටීම දිගින් දිගටම පැවතුනු අතර, 2019 වන විට ආර්ථික වර්ධන වේගය 2.3% දක්වා පහත වැටුණි. මෙය 2001 වර්ෂයේ සිට රටේ වාර්තාවූ අවම ආර්ථික වර්ධන වේගය වූ අතර, මෙයට ප්‍රධාන වශයෙන් බලපෑ කාරණා දෙකක් තිබුණි. එනම්, සීමිත ජනගහනය හේතුවෙන් සිල්ලර වෙළඳාම හා ඉදිකිරීම වැනි ක්ෂේත්‍ර වල ව්‍යාප්තිය ඇනහිටීම හා අපනයන වර්ධනය කිරීමට අසමත්වීම.

අපි අපනයනය කරන්නේ කුමක්ද?

අපනයන ක්ෂේත්‍රයේ රටේ කාර්ය සාධනය ගත්කල, 2000 වර්ෂයේ සිට එහි කඩාවැටීමක් පෙනෙයි. අපනයන ආදායම තනි අගයක් ලෙස ගත් විට, එහි වර්ධනයක් පෙනෙයි. මෙම කාරණාව බොහෝ විට සුරංගනා ලෝක මවාපාන සුභවාදී වාචාලයින් විසින් පටු අරමුණු සඳහා වැරදිසහගත ලෙස අර්ථකථනයට ලක්කෙරෙනු ඇත.

අපනයන ආදායම තනි අගයක් ලෙස ගැනීම වැරදිසහගත වන්නේ එයින් සත්‍ය තත්වය පෙන්නුම් නොකරන නිසාය. 2000 වර්ෂයේ ශ්‍රී ලංකාවේ අපනයන, දල දේශීය නිෂ්පාදනයේන් 39%ක කොටසකට හිමිකම් කිවේය. 2015 වන විට මෙම අගය 20%ක් දක්වා පහත වැටුණි. ගෝලීය වෙලඳාම තාක්ෂණික වශයෙන් සංකීර්ණ නිෂ්පාදන දෙසට ගමන් කරන අතර, ශ්‍රී ලංකාව රෙදිපිළි, ඇඟලුම්, තේ සහ රබර් වැනි සාම්ප්‍රදායික අපනයන මත දිගටම යැපී ඇත. බංග්ලාදේශය හා කෙන්යාව වැනි අඩු ආදායම් රටවල් අඩු පිරිවැයට ඇඟලුම් හා තේ වැනි නිෂ්පාදනයන්ට යොමුවුවිට, ශ්‍රී ලංකාවට ගැටළුසහගත තත්වයක් උදා වුනි. රටේ සමස්ත අපනයන ආදායමින් භාගයකට වඩා හිමිකම් කියන තේ හා ඇඟලුම් සඳහා ගෝලීය වෙළඳපොලේ ශ්‍රී ලංකාවේ පංගුව වර්ධනය කිරීමට මේ හේතුවෙන් අපහසු විය.

මෙය වැදගත් වන්නේ ඇයි? අපනයන, රටේ දල දේශීය නිෂ්පාදනය සමඟ සසඳන විට, ගෝලීයව භාණ්ඩ හා සේවා විකිණීමෙන් රටට උපයන විදේශ විනිමය, ජාතික ආදායමේ ප්‍රතිශතයක් ලෙස දිස්වේ. ඉහත රේඛා සටහනින් පෙනීයන්නේ එම ප්‍රතිශතය අඛණ්ඩව අඩුවී ඇති බවයි.

2019 වර්ෂය වන විට, රට උපයාගත් විදේශ විනිමයෙන් 46%ක් ලැබුනේ භාණ්ඩ අපනයනයෙන්ය (14%ක් සංචාරක කර්මාන්තයෙන් උපයාගත් අතර, 26%ක් විදෙස්ගත ශ්‍රමිකයින් යැවු මුදල් වේ). මෙයින් පිළිඹිඹු වන්නේ රටේ දල දේශීය නිෂ්පාදනය වර්ධනය වුවද, විදේශ විනිමය ඉපයීමේ හැකියාවේ වර්ධනයක් නොතිබූ බවයි. බල ශක්ති අර්බුදයෙන් උගත යුතු ප්‍රධාන පාඩමක් වන්නේ ශ්‍රී ලංකාව වැනි කුඩා රටකට හදිසි වියදම් සඳහා තිරසාර ඩොලර් සංචිත පවත්වාගෙනයාමේ වැදගත්කමයි.

මෙම ගැටලුවට මුහුණදීමේදී ශ්‍රී ලංකා රජය කෙටි-කාලීන ලෙහෙසි මාර්ගයට පිවිසුනා - එනම් විදේශ ණය ලබා ගැනීම හරහා මෙම අභියෝගයට මුහුණ දීමයි. ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොලෙන් ණය ගැනීම සඳහා භාවිතා කෙරුණු මෙවලම වන්නේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) නිකුත්කිරීමයි. මේ තුලින් ශ්‍රී ලංකා ආර්ථිකය හොඳ තත්වයක පවතින බවට වන මායාවක් මැවුනා. දිගින් දිගටම අධිවේගී මාර්ග වැනි ව්‍යාපෘති සඳහා මුදල් වියදම් කිරීම නිසා, එම මායාව දිස්වුනේ යථාර්තයක් ලෙසයි. මාර්ග පද්ධතිය අලුත්වැඩියා වූ අතර, රටට නව ජාත්‍යන්තර ගුවන්තොටුපලක් ලැබුණු අතර, කොළඹ හා අවට ප්‍රදේශවල උස් ගොඩනැගිලි තැනීම සාමාන්‍ය සිදුවීමක් බවට පත්වුණා. මේ සියල්ල සිදුවෙද්දී, අපනයන ක්ෂේත්‍රයේ ඇනහිටීම හා සිඳී යන විදේශ විනිම සංචිත වලට ලැබුනේ කුඩම්මාගේ සැලකිල්ලයි.

ආර්ථික වර්ධනය හා ආදායම් අසමානතාවය

කලින් පැවසූ පරිදි පශ්චාත් යුධ සමයේදී රට අත්කරගත් ආර්ථික වර්ධන වේගයට ප්‍රධාන වශයෙන් හේතුවුනේ යටිතල පහසුකම් සංවර්ධනය හා පෞද්ගලික අංශය විසින් තැනු සුපිරි හෝටල් හා මහල් නිවාස සංකීර්ණයි. මෙවැනි ව්‍යාපෘති හරහා බොහෝවිට ආර්ථික වර්ධනය සියලු ජනකොටස් අතරට බෙදීයාම නිසි පරිදි සිදුවුයේ නැත. ඒ හේතුවෙන්, පශ්චාත් යුධ සමයේ අත්කරගත් ආර්ථික වර්ධනයෙන් දුප්පත් ජනයාට ලැබුණු ප්‍රයෝජනය ඉතා සීමිතයි. ආර්ථික වර්ධනයෙන් වැඩියෙන් ප්‍රයෝජන ලැබුනේ රටේ ධනවතුන්ටය. දල දේශීය නිෂ්පාදනය වැනි දර්ශකයන් නොමග යවන සුළු දත්ත සපයන්නේ මේ ආකාරයෙන්ය. එනම් ඇතැම් විට සිදු වන්නේ රටේ ධනවතුන් හා දුප්පතුන් අතර පරතරය තවත් පුළුල් වීමයි. සරලව කිවහොත් මේ ආකාරයට ආර්ථික වර්ධනය අත්කරගැනීම “අටුව කඩා පුටුව සැදීම” හා සමාන වේ.

රටක අසමානතාවය මැනීම සඳහා ඇති දර්ශකය වන්නේ Gini සංගුණකයයි. Gini සංගුණකය හරහා රටක ආදායම් විසුරුම පිළිබඳව අවබෝධ කරගත හැක. Gini සංගුණකය අඩු අගයක පැවතුනොත් එයින් කියාපාන්නේ එම රටේ හෝ ප්‍රදේශයේ ආදායම් විසුරුම බොහෝදුරට සමාන වන බවයි. ශ්‍රී ලංකාවේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව රටේ ආර්ථික වර්ධන වේගය වැඩිවුවද Gini සංගුණක අගය බොහෝදුරට නොවෙනස්ව පැවතුනි. පහත වගුවෙන් 2016-2019 දක්වා Gini සංගුණක අගයේ වෙනස්කම් විදහා දක්වා ඇත.

Gini coefficient change: 2016-2019

Region/sector20162019Change
Matara0.390.390
Puttalam0.470.430.04
Moneragala0.430.430
Anuradhapura0.460.440.02
Mullaitivu0.420.47-0.05
Kegalle0.410.390.02
Ratnapura0.410.380.03
Vavunia0.410.370.04
Badulla0.460.53-0.07
Kandy0.420.45-0.03
Sri Lanka0.450.46-0.01
Nuwara Eliya0.410.380.03
Urban0.480.49-0.01
Kurunegala0.450.450
Batticaloa0.450.390.06
Kalutara0.440.410.03
Estate0.360.360
Ampara0.390.45-0.06
Hambantota0.430.44-0.01
Polonnaruwa0.460.410.05
Sector000
Galle0.430.44-0.01
Mannar0.420.340.08
Matale0.420.420
Trincomalee0.420.40.02
Kilinochchi0.370.38-0.01
Colombo0.460.47-0.01
Rural0.440.440
Gampaha0.420.44-0.02
Jaffna0.440.440
District000

ඉහත වගුවෙන් පෙනෙන පරිදි Gini සංගුණක අගයේ වැඩි වෙනසක් පෙනෙන්නට නැත. රටේ එක පුද්ගල ආදායම වැඩිවුවද බොහෝ රටවැසියන්ට එම වර්ධනයේ ප්‍රතිඵල භුක්ති විඳීමට අවස්ථාව ලැබී නැත.

පහත වගුවේ රුපියල අගයෙන් 2016 හා 2019 වර්ෂයන් දෙකේදී ගෘහස්ත ආදායම් හා වියදම් සමීක්ෂණයෙන් රටේ විවිධ ආර්ථික පංති ජාතික අදායමින් හිමිකම් කියූ ප්‍රමාණය හා ප්‍රතිශතය විදහා දක්වා ඇත.

Household income, 2016

Segment of societyFifth Quartile (Top 20%)First Quartile (Bottom 20%)Fourth QuartileSecond quartileThird Quartile
Share of income (%)50.84.820.79.614
Mean household income per month (Rs.)15807214843645703000843713
Cumulative share of income (%)1004.849.214.428.5

Household income, 2019

Segment of societyFifth Quartile (Top 20%)First Quartile (Bottom 20%)Fourth quartileSecond quartileThird quartile
Share of income (%)51.44.620.59.514
Mean household income per month (Rs.)19628917572784313629053522
Cumulative share of income (%)1004.648.614.128.1

2016 වර්ෂයේ රටේ දුප්පත්ම 40%ට ජාතික ආදායමෙන් හිමි වූ කොටස 14.1% පමණයි. ධනවත්ම 20%ට ජාතික ආදායමෙන් හිමි වූ කොටස 50.8%යි. 2019 වන විට, ධනවත්ම 20%ට හිමි කොටස 51.4% දක්වා වර්ධනය වූ අතර, සෙසු ජනගහනයට, එනම් මධ්‍ය පංතිකයින්ට සහ දුප්පතුන්ට හිමි කොටසේ, යම් අඩුවක් පෙනෙයි. ධනවත් පංතියේ මධ්‍යස්ත ගෘහස්ත ආදායම රුපියල් 196,289ක් වූ අතර, දුප්පත්ම ජන කොටසේ මධ්‍යස්ත ගෘහස්ත ආදායම වුයේ රුපියල් 17,572ක් පමණයි.

දශකයේ මුලදී පැවති තත්වය සලකා බලන විට එය තවත් බරපතල ලෙස දිස්වේ. 2009-2010 කාලයේ, ශ්‍රී ලංකාවේ Gini සංගුණක අගය වුයේ 0.49, 2019, එනම් දශකයකට පසුව එය තවමත් 0.46 අගයක් පෙන්නුම් කරනු ඇත. සරලව කිවහොත් 2009 හා 2010, රටේ දුප්පත්ම 40%ට ජාතික ආදායමෙන් හිමි වූ කොටස 13.3%ක් වුහ. 2019 වන විට එය එක සම්පුර්ණ ප්‍රතිශත ලක්ෂ්‍යයකින්වත් වැඩිකිරීමට අප අසමත් වී ඇත. ආර්ථිකය වර්ධනය වුවද, මේ දත්ත හරහා පෙන්නුම් කරන්නේ එම වර්ධනයෙන් දුප්පතුන් හෝ මධ්‍ය පංතිකයින් ලබාගත් ප්‍රයෝජනය ඉතාමත් සීමිත බවයි.

ශ්‍රී ලංකාවේ බදු ප්‍රශ්නය

අඛණ්ඩ ආර්ථික වර්ධනයක් වාර්තාවී ඇති නමුත්, ඊට සරිලන පරිදි බදු ආදායම ඉහල නැංවීමට පිළිවෙලින් ආ රජයන් අසමත් වී ඇත. රජයේ බදු ආදායම තනි අගයක් ලෙස ගත් කල වර්ධනයක් පෙන්නුම් කරයි.

නමුත්, බදු ආදායම දල දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස සලකා බැලු විට නැවතත් දිස්වන්නේ අඛණ්ඩ කඩාවැටීමක්.

මෙය පශ්චාත් යුධ සමයේ සංසිද්ධියක් ලෙස සුළුකොට සැලකීම වැරදියි. දල දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස බදු ආදායම කඩාවැටීම ඇරඹුණේ 1990 දශකයේ මැද භාගයේදීය. පශ්චාත් යුධ සමයේ අත්කරගත් සිඝ්‍ර ආර්ථික වර්ධනය නොතකා, මෙම ප්‍රවණතාවය අඛණ්ඩව පැවතී ඇත. දල දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස බදු ආදායම 20.4% සිට 2014 වන විට 10.1%ක් දක්වා පහත වැටුණි. 1948 නිදහස ලැබීමෙන් පසුව දල දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස බදු ආදායම වාර්තාවූ අඩුම අගය මෙයයි.

2015 වර්ෂයේ හඳුන්වාදුන් සුපිරි ලාභ බද්ද වැනි කෙටි කාලීන පැලැස්තර විසඳුම් හේතුවෙන් බදු ආදායමේ ඉහල යාමක් දක්නට ලැබුනද, 2017 වර්ෂයේ, ලංකාවේ බදු ප්‍රශ්නයට, දිගු කාලීන විසඳුමක් ලෙස 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සම්මත කෙරුණා. ආදායම් බදු වෙත අවධානය යොමුකිරීමෙන් බදු ආදායම ශක්තිමත් කිරීමට පියවර ගැනුනා. පුද්ගල හා සමාගම් බදු වැඩිකිරීමට හා, බදු ක්‍රමය සරල කිරීමට පියවර කිහිපයක් මෙම පනත හරහා ක්‍රියාත්මක වුනා.

එසේ වුවද, 2019 බලයට පත්වීමෙන් අනතුරුව, ජනාධිපති ගෝඨාබය රාජපක්ෂගේ ආණ්ඩුව, ජනාධිපතිවරණයේදී ලබාදුන් පොරොන්දු වලට අනුව, විශාල බදු සහන රැසක් හඳුන්වාදුන්නා. දේශීය ආදායම් පනත හරහා හඳුන්වාදුන් බදු කිහිපයක් සංශෝධනයට ලක්වූ අතර, වැට් (VAT) බද්ද 15% සිට 8% දක්වා අඩුකිරීමටද පියවර ගැනුනි. එමෙන්ම, උපයාගත් ආදායම අනුව ගෙවිය යුතු බද්ද හෙවත් PAYE බද්ද අහෝසි කරන ලද අතර, පොලි ආදායම ඇතුළු ආදායම් වර්ග කිහිපයක් මත පැනවූ රැඳවුම් බද්දද ඉවත් කළේය. මෙවන් පියවර හා COVID-19 වසංගතයේ බලපෑම හේතුවෙන්, 2020 වර්ෂයේ බදු ආදායම විශාල ලෙස පහතට වැටුණි. 2014 වාර්තාවූ 10.1%ක දල දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස බදු ආදායම් වාර්තාව බිඳමින්, 2020 වර්ෂයේ බදු ආදායම දල දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 8.4% දක්වා පහත වැටුණා.

ආර්ථික වර්ධනය සමඟ රටවැසියන්ගේ සාමාන්‍ය ආදායම වැඩිවී ඇති අතර, ධනවතුන්ගේ ආදායම බෙහෙවින් වැඩිවී ඇත. එහෙත්, රජයේ බදු ආදායම අඛණ්ඩව කඩාවැටී ඇත. මෙය ලෝකසම්මත සංවර්ධන අත්දැකීම් වලට බෙහෙවින් වෙනස් තත්වයක්. ගෝලීය සාක්ෂි සලකා බලන විට පෙනී යන්නේ රටක සංවර්ධන තත්වය ඉහල නැංවීමත් සමඟම, එම රටේ දල දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස බදු ආදායමද වැඩිවිය යුතු බවයි. ශ්‍රී ලංකාව ගත් කල සිදුවී ඇත්තේ ඊට හාත්පසින්ම විරුද්ධ ප්‍රවණතාවයයි. ආර්ථිකයේ මුදල් තිබුනද, එයින් රජයේ ආදායමට බලපෑමක් සිදුවී නැත. Gini සංගුණකය සලකන විට එය රටේ දුප්පත්ම ජන කොටස්වලටද හිමි වී නැත.

බදු ආදායම අඩුවීමත් සමඟම අයවැය හිඟයද (රජයේ ආදායම් හා වියදම් අතර පරතරය) වැඩිවී ඇත. ආදායම සිඳී යද්දී තව තවත් ණය ගනිමින් තව තවත් අධිවේගී මාර්ග තැනීමට රජය වග බලා ගත්තා. මේ හරහා එක අතකින් දිගින් දිගටම අයවැය හිඟය වැඩිවී ඇති අතර, අනෙක් අතින් පිළිවෙලින් ආ රජයන් තමන්ගේ වියදම් දැරීමට ණය ගැනීම තුලින් රාජ්‍ය ණය ප්‍රමාණයද ශ්‍රිඝ්‍රයෙන් වර්ධනය වී ඇත. ප්‍රතිසංස්කරණ නොමැතිව සිදුවන ආර්ථික වර්ධනයේ ප්‍රතිවිපාක මෙයයි.

දැන් තත්වය කුමක්ද?

දශක ගණනාවක් පුරා ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකිරීමට හෝ එවන් ප්‍රතිසංස්කරණ වල පැවැත්ම සහතික කිරීමට අසමත් වීම තුලින්, රටට දැන් විවිධාකාර ආර්ථික ගැටලුවලට මුහුණදීමට සිදුවී ඇත. කඩාවැටෙන බදු ආදායම, පල් වෙමින් පවතින අපනයන ක්ෂේත්‍රය, වැඩිවෙමින් පවතින ආර්ථික අසමානතාවය හා, රාජ්‍ය මුදල් පාලනයේ කිසිඳු විනයානුකුල බවක් නොමැතිවීම හේතුවෙන් ආර්ථිකය ඉතා අවදානම් තත්වයක පවතියි. ශ්‍රී ලංකා ආර්ථිකය දැනට දිස්වන්නේ දිරාපත් වූ පැරණි ගොඩනැගිල්ලක් ලෙසයි. එය අලුත්වැඩියා කිරීම සඳහා අධික මිලට ටයිල් මිලදීගෙන ඇති අතර, වහලේ හිල් හා සෙලවෙන බිත්ති නොතකා හැරී ඇත. වහාම අලුත්වැඩියා කටයුතු අර්ථවත්ව සිදු නොකළහොත් ගොඩනැගිල්ල කඩාවැටීම වැළැක්වීම ඉතා අපහසු කාර්යයක් බවට පත්වනු ඇත. COVID-19 වසංගතය හේතුවෙන් ආර්ථික අවදානම තවත් උග්‍ර වී ඇත. උගුරට හොරා බෙහෙත් බිමේ පුරුද්දට ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකිරීමට යොමුවුවහොත් රටේ ජනතාවට දිගින් දිගටම අත්වන්නේ කම්මලේ ඉන්න බල්ලාගේ ඉරණමයි.

පාරිභාෂිකය

  1. Gini සංගුණකය - ආදායම් අසමානතාවය මැනීම සඳහා භාවිතා කෙරෙන ප්‍රසිද්ධ දර්ශකයක්. රටක විවිධ ආර්ථික පංති හරහා ජාතික ආදායම බෙදී යාම මැනීම සඳහා උපයෝගී කරගන්න මෙවලමක් (උදාහරණයක් වශයෙන් රටේ ජාතික ආදායමින් 60%ක් උපයන්නේ ධනවත්ම 20%යි, දුප්පත්ම පංතියට හිමිවන්නේ ජාතික ආදායමෙන් 5%ක් පමණි). 0 සිට 1 දක්වා Gini සංගුණක අගයක් ලබාගත හැක. 0 යනු එම රටේ සියලු පුද්ගලයින් අතර ජාතික ආදායම සමානව බෙදී ඇත. 1 යනු එම රටේ ආදායමේ සමස්තයම අයත් වන්නේ තනි පුද්ගලයෙකුටයි.
  2. දල දේශීය නිෂ්පාදනය (GDP) - මෙය රටක වාර්ෂිකව රට තුල නිෂ්පාදනය කෙරුණු භාණ්ඩ හා සේවා වල මුල්‍ය වටිනාකමයි. කළු වෙළඳපොලේ සිදුවන ගනුදෙනු හා ගෙදර වැඩ වැනි මිලනොකල වැඩ දල දේශීය නිෂ්පාදනයට එකතු වන්නේ නැත.
  3. එක පුද්ගල ආදායම- එක පුද්ගල ආදායම ගණනය කෙරෙන්නේ දල දේශීය නිෂ්පාදනය එම වසරේ මැද භාගයේදී රටේ ජනගහනයෙන් බෙදිමෙන්ය. මෙයින් පෙන්වන්නේ රටේ එක් පුද්ගලයකුගේ සාමාන්‍ය ආදායමයි. මෙම අගයෙන් ආර්ථික අසමානතාවය වැනි කාරණා පිළිඹිඹු වන්නේ නැත.
  4. ආර්ථික වර්ධන වේගය - පසුගිය වර්ෂයට සාපේක්ෂව එම වර්ෂයේ දල දේශීය නිෂ්පාදනය වැඩිවූ ප්‍රතිශතය.

බදු වර්ග

  1. පුද්ගල ආදායම් බද්ද - වාර්ෂිකව රුපියල් මිලියන 3ට වැඩි ආදායමක් උපයන පුද්ගලයින් ආදායම් බදු ගෙවිය යුතුයි. ආදායම වැඩිවීමත් සමඟම බදු ප්‍රතිශතයද වැඩිවේ. උපරිම ආදායම් බදු ප්‍රතිශතය වන්නේ 24%යි.

  2. සමාගම් ආදායම් බද්ද - සමාගම් ලාභ මත බදු ගෙවිය යුතුයි. ව්‍යාපාරය අනුව බදු ඛාණ්ඩ 4ක් තිබේ. ඛාණ්ඩය අනුව බදු ප්‍රතිශතය 14%ක්, 18%ක්, 24%ක් හෝ 40%ක් විය හැකියි.

  3. වැට් (VAT) බද්ද - වාර්ෂිකව රුපියල් මිලියන 300ට වැඩි වටිනාකමින් භාණ්ඩ අලෙවි කරන ඕනෑම ව්‍යාපාරයක් වැට් බද්දට යටත් වන භාණ්ඩ හෝ සේවා මත 8%ක බද්දක් ගෙවිය යුතුයි. මෙහිදී බදු බර සාමාන්‍යයෙන් පාරිභෝගිකයාගෙන් අයකෙරෙනු ලැබේ.

  4. රේගු ආනයන බදු - බොහෝ ආනයන භාණ්ඩ නිදහස් කිරීමට පෙර රේගුව විසින් බදු අයකෙරෙනු ඇත. රේගු ආනයන බදු වලට යටත් වන භාණ්ඩ ලැයිස්තුවක් මෙතනින් ලබාගත හැක.

  5. වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන ගාස්තුව (PAL) - ආනයන මත පැනවෙන බද්දක්. PAL බද්දට යටත් වන භාණ්ඩ ලැයිස්තුවක් මෙතනින් ලබාගත හැක.

  6. සෙස් බද්ද (Cess) - ඇතැම් ආනයන මත පැනවෙන බද්දක්. සෙස් බද්දේ ප්‍රධාන අරමුණක් වන්නේ අදාල භාණ්ඩ ආනයනය අධෛර්ය කිරීම හා දේශීය කර්මාන්ත දිරිගැන්වීමයි. Cess හා PAL බදු ආනයන මත පැනවෙන අමතර බදු වන හෙයින්, ඒවා para-tariffs ලෙසද හඳුන්වන ලදී.

  7. විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද (SCL) - සහල්, අර්තාපල් හා ළුණු වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය මත පැනවෙන බද්දක්. මෙය රෙගු ආනයන බද්දේ, Cess බද්දේ හා PAL බද්දේ එකතුවක් වේ. විශේෂ භාණ්ඩ සඳහා තනි බද්දක් පවත්වාගෙන යාම හරහා කාලීන අවශ්‍යතාවය අනුව බද්ද වෙනස් කිරීමේ කාර්යය සරල වනු ඇත.

  8. සුරාබදු බද්ද - වාහන, මත්පැන් හා දුම්කොළ නිෂ්පාදන මත පැනවෙන බද්දක්. භාණ්ඩය අනුව බදු ප්‍රතිශතය වෙනස් වේ.

  9. විශේෂ භාණ්ඩ හා සේවා බද්ද (SGST) - මෙම බද්ද තවමත් ක්‍රියාත්මක වී නැත. පසුගියදා අදාල පනතේ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කෙරුණා. වාහන, මත්පැන්, දුම්කොළ නිෂ්පාදන, සූදුව හා, විදුලි සන්නිවේදන මත පනවා ඇති බදු ඒකාබද්ධ කිරීමේ අරමුණින් හඳුන්වාදීමට නියමිත බද්දක්.